Gossips

කේරළයෙන් ආ සායනික අපද්‍රව්‍ය ගැන සොයන්න, පුත්තලමට කණ්ඩායමක්

පුත්තලම වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ගොඩ ගසා තිබෙන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පළ කරන සායනික අපද්‍රව්‍ය තොගය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් එහි පිටත් කර හැරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබෙනවා.
විශේෂ පුහුණුවක් ලද 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද පෙරවරුවේ මෙලෙස එම අපද්‍රව්‍ය ගොඩගසා ඇති වෙරළ තීර වෙත යාමට නියමිත බවයි එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පුත්තලම – පෙරියපල්ලිය, චින්නපල්ලි, පල්ලියවත්ත, කන්දදූව වැනි ප්‍රදේශවලට මෙලෙස සායනික අපද්‍රව්‍ය පසුගිය දින කිහිපය මුළුල්ලේ ගොඩගසා තිබූ අතර, ඊයේ දිනයේදී ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කණ්ඩායමක් එහි ගොස් කරුණු වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ජනතාවගෙන් ඉල්ලා සිටියේ එම අපද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි.