Gossips

කෙසෙල් හොරා සී.සී.ටී.වී කැමරාවේ

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක පිටුපස ගොඩගසා තිබූ ඇඹුල් සහ කොලිකුට්ටු කෙසෙල් කැන් 199ක් ලොරි රථයක පටවාගෙන සොරා ගෙන යන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ වෙළඳසැලේ ( සීසීටීවී) ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා.
කැබ් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු 04 දින පස්වරුවේ මෙම සොරකම සිදු කොට ඇති බවයි දඹුල්ල පොලිසිය පවසන්නේ.
ගොවියෙකු විසින් අලෙවි කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ මෙම කෙසෙල් කැන් 199 සොරාගෙන ගොස් ඇති බව මධ්‍යස්ථාන වෙළඳසැලේ ව්‍යාපාරිකයා විසින් දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
එහි වටිනාකම රුපියල් පනස් දහසකට ආසන්න බවයි ව්‍යාපාරිකයා ප්‍රකාශ කර තිබෙන්නේ.
කෙසෙල් කැන් අලෙවි කිරීම සඳහා වෙළදසැලට රැගෙන ආ ගොවියාට ව්‍යාපාරිකයා විසින් කෙසෙල් කැන් වල වටිනාකම ලබාදී තිබීම මෙහි විශේෂත්වයක්.
රතු පැහැති කැබ් රථයක් වෙළඳසැල පිටුපසට රැගෙනවිත් ඔවුන් මිලදී ගත් භාණ්ඩ පටවනවා සේ ජනතාව මුලා කරමින් ඉතා සූක්ෂම ලෙස මෙම පුද්ගලයන් දෙදෙනා වෙළඳසැල පිටුපස ගොඩගසා තිබූ කෙසෙල් කැන් ලොරියට පටවාගෙන පිටව යන ආකාරය වෙළෙඳ සැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ ඉතා පැහැදිලිව සටහන්ව තිබෙනවා.
වෙළඳසැල් හිමිකරු කියා සිටියේ මෙම පුද්ගලයා මීට පෙර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හෝ තම වෙළෙඳ සැලේ දී දැක නොමැති අයකු බවයි.
එමෙන්ම ඔවුන් පැමිණි රතු පැහැති කැබ් රථයේ අංක තහඩු බොඳ වී තිබීම තවත් විශේෂත්වයකි.
දඹුල්ල පොලීසිය කියා සිටියේ මෙම පුද්ගලයා සහ වාහනය යම්කිසි කෙනෙක් හඳුනන්නේ නම් ළඟම ඇති පොලිසියට හෝ දඹුල්ල පොලිසියට ඒ බව දැනුම් දෙන ලෙසය.