Gossips

කෙසෙල්වත්තේ දිනුකගේ ඥාතියෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට

මාකඳුරේ මධුෂ් සමඟ දැනට අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමා කෙනෙකු වන අල රංජි නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ පිහිටි වාහන නැවතුම්පලක් අසලදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ 57 හැවිරිදි වියේ පසුවන සැකකරු සන්තකයේ තිබී හෙරොයින් සහ මන්නා පිහි දෙකක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. කප්පම් ලබාගැනීමේ චෝදනාද මෙම පුද්ගලයාට එල්ලවී ඇති බව පොලීසිය කියා සිටියා.
මේ අතර පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කොල්ලකන ලද රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් මැනික් සහ නිල් දියමන්තිය දැනට ඩුබායි පොලිසිය භාරයේ සිටින පාතාල නායක මාකදුරේ මදූෂ් අතට පත්වී ඇති බවට පොලිසිය සැක කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීයෙකු සඳහන් කළේ අදාල කොල්ලය මාකදුරේ මදූෂ් විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බවට මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි.
පසුගිය වසරේ නොවැම්බර් 05 වනදා පොලිස් නිල ඇදුමින් සහ සිවිල් ඇදුමින් සැරසුණු පිරිසක් අදාල නිවසට ඇතුළු වී කොල්ලය සිදු කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් රවීන්ද්‍ර නාලක රණසිංහ හෙවත් ලොකු අයියා, තුසිත මදුර හෙවත් මාතර මල්ලී, කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැති සැකකරුවන් පොලිසිය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිල ඇදුමින් සැරසී අදාල නිවසට ඇතුළු වී ඇත්තේ ලොකු අයියා නමැත්තා බවට ද තහවුරු වී ඇති බවයි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සඳහන් කළේ.
ඔහුගේ දුරකතනය පරීක්ෂා කළ පොලිසිය මාකදුරේ මදූෂ් වෙත යවන ලද කොල්ලකන ලද දියමන්තිය සහ මැණික් තොගයේ ජායාරූප ද හමුවී තිබෙනවා.
එසේම කොල්ලය සිදු කර දින තුනකට පසුව ලොකු අයියා නමැත්තා මාකදුරේ මදූෂ් ලබාදුන් උපදෙස්වලට අනුව දෙමටගොඩ ප්‍රදේශයේදී මෙම දියමන්තිය වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවටයි හෙලිව ඇත්තේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාකදුරේ මදූෂ් සමඟ මේ වනවිට අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වෑන් රෝයන් පොලිසියට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.
එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් මාකදුරේ මදූෂ් නමැත්තෙක් නොහදුනන බවයි.
කෙසේ වෙතත් ඔහුගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී මාකදුරේ මදූෂ්ට දුරකතන ඇමතුම් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි විමර්ශණ සිදු කරන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරියා සඳහන් කළේ.
එසේම කොල්ලකන ලද දියමන්තිය දෙමටගොඩ ප්‍රදේශයේදී ලොකු අයියා නමැත්තා තවත් පුද්ගලයෙකුට ලබාදුන් දිනයේ රංගන ශිල්පී රයන් ද දෙමටගොඩ ප්‍රදේශයේ රැදී සිට ඇති බවද දුරකතන විශ්ලේෂණ වාර්තා වලින් හෙලිවී තිබෙනවා.
එසේම ඔහු සහ අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා එදිනම ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
මේ අනුව මෙම දියමන්තිය මදූෂ් අතට පත්වීම සහ රයන් හා අමල් ඩුබායි යාම අතර සම්බන්ධයක් පවතින්නේ දැයි විමර්ශණවලදී වැඩි අවධානයක් යොමු කරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියා සිටියා.