Gossips

කුසට අහරක් ඉල්ලා දරුවන් තුන් දෙනෙකු පොතුවිල් පොලිසියට

දින දෙකක් පුරා කුසට අහරක් නොලැබුණු බව පවසමින් සහය ඉල්ලා පොතුවිල් පොලිසියට පැමිණි දරුවන් තුන් දෙනෙකු පිළිබඳ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
‘‘කුසගින්න දරාගෙන ජීවත් වන වැඩිහිටියන් ගැන අත්දැකීම් අපේ රටේ දුලබ දෙයක් නොවුණත්, කුඩා දරුවන් කුස ගින්නේ සිටීම යනු හද සසල කරවන අත්දැකීමක්.
බහුතර දෙමව්පියන් මුළු ජිවිතයම කැප කරන්නේ දරුවන්ගේ කුසගින්න නිවීම වෙනුවෙන් බව රහසක් නොවේ.
එහෙත් ඊයේ වයස අවුරුදු 13 ක් සහ 14 ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 07 ක පුංචි දියණියක පොතුවිල් පොලිසියට පැමිණෙන්නේ අපට බඩගිනියි යනුවෙන් පවසමින්.
දින දෙකක් පුරා ඔවුන්ගේ මව මේ දරුවන්ට ආහාර කිසිවක් ලබා නොදී තිබූ අතර, පියා විදේශගතව සිටින බව සඳහන්.
අම්මාට වෙනත් අයෙකු ආහාර ගෙනවිත් දෙන බවත්, තමන්ට ඒවා නොදෙන බවත් මේ පුංචි දරුවන් පොලිසියට පවසා තිබුණා. දරුවන්ගේ කුසගින්නෙන් හද සසල වූ පොලිස් නිලධාරීන් ඔවුන්ට ආහාර ලබාදී සැකකාර මව අත්අඩංගුවට ගත්තා.
ඇය පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
දරුවන් පරිවාස භාරයට පත් කරන තුරු ඥාතියෙකුට භාර දී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
රටේ විවිධ තැන්වල ආහාර තොග පිටින් වනසන යුගයක දරුවන් මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳව ප්‍රදේශයේ වගකිව යුතු නිලධාරීන් හෝ සොයා බැලිය යුතු නොවේද ?’’