Gossips

කුලියාපිටියෙනුත් නිත්තෑවුන් ගැන තොරතුරු (ඡායාරූප)

කුලියාපිටිය – එලතලව ප්‍රදේශයේ ද නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් සැරිසරන බවට තොරතුරු වාර්තා වුණා. ඊයේ සහ පෙරේදා දිනයන්හි මෙම නිත්තෑවන් ප්‍රදේශවාසීන් දැක ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
සමාජ විද්‍යාඥයින් සහ ගවේෂකයන් පළ කර ඇති මතවලට අනුව නිත්තෑවුන් යනු මිනිසුන් මෙන් දෙපාවලින් ඇවිද යා හැකි සත්ව මුහුණක් සහිත ශරීරයේ ලෝම පිරි දිගු නියපොතු සහිත සත්ව කොට්ඨාශයක්.
මීට පෙර අම්පාර සහ අනුරාධපුර යන ප්‍රදේශවල නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් සැරිසැරූ බවට වාර්තාවීමත් සමඟයි ඒ පිළිබඳව පර්යේෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරනු ලැබුවේ. අම්පාර – දමන – තොට්ටම ප්‍රදේශයේ හේන් ගොවීන් පිරිසක් කුරු මිනිසෙකු පසුගිය දින කිහිපය පුරාම දුටු බවට හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඒ පිළිබදව පර්යේෂණ සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම කියා සිටියේ සැරිසැරූ බව කියන කුරු මිනිසුන් නිත්තෑවන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවයි.
නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් සමාජය තුළ මෙලෙස කතාබහක් මතුවීම සමග මිනිසුන්ගේ මනසේ ඇති වන රූපමය සිතුවිලි හේතුවෙන් මෙවැනි රූප දිස්විය හැකි බවයි මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් සඳහන් කළේ.
කෙසේ නමුත්, ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෙරට ජීවත් වූ නිත්තෑවුන් හෙවත් කුරු මිනිසුන් තමන් විසින් මුළුනිපුටා දැමූ බව වැදි ජන කොටස ප්‍රකාශ කර තිබෙනවා.
ඒ බව 1887 වසරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ දී සටහනක් තබා ඇති අතර, බ්‍රිතාන්‍ය විද්‍යාඥ ඔස්මන් හිල් ප්‍රකාශ කළේ තවදුරටත් මෙරට නිත්තෑවුන් සිටිය හැකි බවට මතයක් පවතින බවයි. බ්‍රිතාන්‍ය යුගයේ සටහන්වලට අනුව නිත්තෑවුන් යනු මීටරයක් පමණ උසැති, ගස් සහ ලෙන් ආශ්‍රිතව වෙසෙන ඍජුව ගමන් කරන කුඩා සතුන් අනුභව කරන වානර කොට්ඨාශයක්.