Gossips

කුලහීන විරෝධතාවලදී ජීවිත හානි 5ක්

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකින් තම ජන කොටසට අසාධාරණයක් වන බව පවසමින් උතුරු ඉන්දියාවේ බිහාර්, ඔඩීෂා, පන්ජාබ් සහ රාජස්ථාන් ප්‍රාන්තවල කුලහීන ජනතාව අද (02) වීථි බැස දැවැන්ත විරෝධතාවක නිරත වුණා.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ විරෝධතාවලදී පොලීසිය හා ගැටුණු ශිෂ්‍ය ව්‍යාපාරයක නායකයෙකු ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කුලහීනයන්ට එරෙහි ප්‍රහාර උත්සන්න වද්දී, ප්‍රහාරකයන්ට ඇප ලබාදිය හැකි නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කිරීමට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධතාවල නිරත වන්නේ.
මේ අතර ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ දලිත් කුලයේ තරුණයෙක් විසින් අශ්වයෙකු මිලදී ගැනීමෙන් පසුව ඝාතනය කළ පුවතක් ද පසුගියදා වාර්තා වූවා.
අශ්වයන් මිලට ගැනීම හෝ අශ්වයෙකු පිට යාම දාලිත් කුලයේ වැසියන්ට තහනම් බව පවසමින් එම තරුණයාට පහරදී ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
එම සිදුවීම සම්බන්ධයෙන් ඉහළ කුලයේ බවට පැවසෙන වැසියන් කිහිපදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තරුණයා හොඳින් අධ්‍යාපනය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.
මේ අතර ප්‍රකාශයක් සිදුකරමින් ඔහුගේ පියා සඳහන් කරන්නේ මෙලෙස තම පුතු අශ්වයන් මිලදී ගැනීමට තමන් දැඩි ලෙස විරුද්ධ වූ බවයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ තම පුතුගේ ඝාතකයන්ට සාධාරණ දඬුවමක් හිමිවීම පිළිබඳව තමන්ට සැකසහිත බවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පසුව වාර්තා කළේ මෙම ඝාතනය සිදුව ඇත්තේ එම තරුණයා විසින් තරුණියකට හිරිහැර කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් බවයි.