Gossips

කුරුං ගුරුන්ගේ 25,000 ක් වංචනිකයෙකු සොරා ගනී

දැනට රෝගී තත්ත්වයෙන් පසුවන කුරුං ගුරුන් නමින් ප්‍රකට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී කේ.ඒ. පියකරු කලාකරුවා සතු රුපියල් 25,000 ක් කිසියම් පුද්ගලයෙකු විසින් වංචනික ලෙස රැගෙන ගොස් තිබෙනවා.
78 හැවිරිදි වියේ පසුවන මොහු දැනට මාස 10 ක පමණ කාලයක සිට ශරීරයේ කොටසක් අප්‍රාණික වීමේ රෝග තත්ත්වයකින් පීඩා විඳින අතර, ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති තුළින් මීට පෙර මුල්වරට අනාවරණ කළා.
එවන් පසුබිමක ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි නාඳුනන පුද්ගලයෙකු මෙම වංචාව සිදුකළ බවයි ඔහුගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
සැකකරු ඊයේ (27) පෙරවරුවේ හෝකන්දර පිහිටි රංගන ශිල්පියාගේ නිවසට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ රෝගී තත්ත්වයන් සුවකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදල් පරිත්‍යාගයක් කිරීමට විදේශිකයෙකු සූදානමින් සිටින බවයි.
එය ලබා ගැනීමට නම් රුපියල් 25,000 ක් වැය කර දුම්වැටි තොගයක් අදාළ විදේශීය ජාතිකයාට ලබාදිය යුතු බව ප්‍රකාශ කළ මුදල් වංචාකරු ඒ සදහා කේ.ඒ.පියකරුගේ කැමැත්ත ලබාගෙන තිබෙනවා.
අනුව, වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මුදල් ලබා ගත් රංගන ශිල්පියා සැකකරුට මුදල් ලබාදී ඇති බවයි ඔහුගේ බිරිඳ වන ප්‍රේමා අල්විස් කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අද (28) පෙරවරුවේ තලංගම පොලීසියට පැමිණ පැමිණිල්ලක් ද සිදුකළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.