Gossips

කුමන දී දිවියෙකු පහරදීම ගැන වාර්තාවක් කැඳවයි

කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පවසනවා.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ අදාළ දිවියා දෙවනවරටත් දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බැවින් එම දිවියා පිළිබඳ නිසි විමර්ශනයක් සිදුනොකළහොත් කලාපයේ සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් වියහැකි බවයි.
කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකු ඩැහැගෙන යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 18 වැනිදායි.
පසුව දිවියාගේ පහර කෑමට ලක්වූ පුද්ගලයා සොයා පැමිණි සෆාරි ජීප් රථයේ රියැදුරෙකුද දිවියාගේ පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබුවා.
පහරදුන් දිවියා බාගුරේ – බඹරගස්තලාව ප්‍රදේශයේ තවදුරටත් සැරිසරන බැවින් එම ප්‍රදේශය සංචාරකයින් සඳහා තවදුරටත් තහනම් කලාපයක් බවට පත්කර තිබෙනවා.
පසුගිය 18 වැනිදා කුමන ජාතික වනෝද්‍යානයේ මෙම පහරදීම සිදුකර තිබුණේ පැන්තරා පාඩස් කොටියා නමින් හඳුන්වන දිවි විශේෂයට අයත් දිවියෙක්.
කුමන ජාතික වනෝද්‍යානයේ දත්ත වලට අනුව මේ වන විට එම වනෝද්‍යානය තුළ දිවියන් 30ත් 40ත් අතර ප්‍රමාණයක් සිටිනවා.
දිවියා පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ සෙල්වදොරේ රවීචන්ද්‍රන්ගේ දේහය ඊයේ පස්වරුවේ පොතුවිල් සංගමන්කන්ද ප්‍රදේශයේ සිය නිවසට රැගෙන ආවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණේ අද පස්වරුවේයි.
දිවියගේ පහරකෑමෙන් තුවාල ලබා මේවන විට අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබන චමීර සම්පත් අබේසිංහ නම් මොනරාගල – දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රමේෂ් නානායක්කාර මහතා පැවසුවේ දිවියාගේ පහරදීමෙන් ඔහුගේ ශ්වාසනාලයට දැඩි හානි සිදුව ඇති බවයි.
තුවාල ලැබූ චමීර සම්පත් දැඩි සත්වලෝලියෙකු බවත් දිවියා පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා සොයා යෑමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ බවත් එහි සේවකයින් පවසනවා.
දිවියාගේ පහර කෑමට ටික වේලාවකට පෙර චමීර සිය ෆේස්බුක් ගිණුමේල මියගිය වලහෙකුගේ ඡායාරූප කිහිපයක්ද පල කර තිබුණා.
කෙසේ වෙතත් දිවියන් මිනිසුන්ට පහර දීමක් සිදු කරන්නේ යම් විශේෂ කාරණයක් හේතුවෙන් පමණක් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

rn