Gossips

කුමන ජාතික වනෝද්‍යානයේදී, දිවියෙක් කම්කරුවෙකු ඩැහැ ගනී

කුමන ජාතික වනෝද්‍යානයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියක කම්කරුවෙකු දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.
වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇති අතර දිවියාගේ පහරදීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මිය ගිය පුද්ගලයා 29 හැවිරිදි වියේ පසු වූ අතර, කුමන ජාතික වනෝද්‍යානයේ සංවර්ධන ව්‍යාපෘතියක සේවය කරමින් සිටියදී ඊයේ දහවල් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
ඔහු තවත් කම්කරුවන් හතර දෙදෙනෙකු සමඟ ට්‍රැක්ටරයකින් බොරළු පස් ප්‍රවාහනය කර ඇති අතර, දිවා ආහාරය ගැනීමෙන් පසු තුරු සෙවනක ගිමන් හරිමින් සිටියදී මෙලෙස දිවියෙකු කඩා පැන ඩැහැගෙන ගිය බව සඳහන්.
දිවි ප්‍රහාරයට ලක්වූ අනෙක් පුද්ගලයා මුලින් පොතුවිල් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අක්කරෙයිපත්තුව රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලටත් මාරු කර යවා තිබෙනවා.