Gossips

කුණු කන්ද නිසා නාගරික කොමසාරිස් ඉවතට

කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් පියවර ගෙන තිබෙනවා.
ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සඳහන් කළේ හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයේ වාර්තාවට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.
මීතොටමුල්ලට කසළ බැහැර කිරීම සඳහා බාහිර ආයතන වෙත ලබාදී ඇති මුදල් 2015 සහ 2016 වසරවලදී අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව එම වාර්තාවෙන් හෙළි වුණා.
2014 වසරේ ඒ සඳහා රුපියල් මිලියන 64 ක් වැය කර ඇති අතර, එය 2015 වසරේදී මිලියන 182 ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
එසේම 2016 වසරේදී එය රුපියල් මිලියන 232 දක්වා තවදුරටත් වැඩි වී තිබුණා.
කොළඹ මහ නගර සභාව කසළ බැහැර කිරීම පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් අනුගමනය නොකිරීම සහ ඉදිරිපත් කළ යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීමද මීතොටමුල්ල ඛේදවාචකයට හේතුවූ බවයි පෙබරවාරි 6 වන දා ජනාධිපතිවරයාට භාර දුන් එම වාර්තාවේ සඳහන් කර තිබුණේ.
එහි නිර්දේශ අනුව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබාදුන්නේ ඉන් අනතුරුවයි.