Gossips

කුඩු චූටිට වෙඩි තැබුවේ, කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක්

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක අමල් පෙරේරා, මත්ද්‍රව්‍ය භාවිත කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නීතිමය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටින තමන් ඊයේ අමල් පෙරේරා මුණ ගැසුණු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි කියා සිටියේ.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ බවට වන සැකය හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පිරිස 28 වන දා දක්වා බන්ධනාගාර ගත කර ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පිරිසගේ පළමු සහ දෙවන රුධිර සාම්පල වාර්තා මෙතෙක් නිකුත් වී නොමැති බව පවසන නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි සඳහන් කළේ සිදුකරන පරීක්ෂණ අනුව පෙනී යන්නේ අමල් පෙරේරා සහ ඔහුගේ පුතු නදීමාල් පෙරේරා බොහෝ දුරට එරටින් හිටුවහල් කරනු ඇති බවයි.
එමෙන්ම, පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට සහය ලබාදීම සඳහා මෙරටින් පිටත්ව යන පරීක්ෂණ කණ්ඩායම පත්කර ඇති බව ද අද (15) වාර්තා වුණා.
ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ඇතුළත්.
ආරක්ෂක ලේකම්වරයා විසින් පත් කර ඇති මෙම නිලධාරින් පිරිස බොහෝදුරට නිලධාරීන් පස් දෙනෙකුගෙන් හෝ හය දෙනෙකුගෙන් සමන්විත වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, හිටපු පාතල නායක ෆාජිගේ දෙවන බිරිඳ වන සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරී හෙවත් කුඩු චූටිට කොටහේන – මෛත්‍රී බෝධිරාජ මාවතේ පිහිටි නිවසේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඉම්රාන්ගේම ගෝලයෙකු බව අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොටහේන පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ කුඩු චූටි සහ බානු නැමැත්තිය කොටහේන කේන්ද්‍ර කරගෙන සිදුකරගෙන යන කුඩු ජාවාරම, කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට පත්වීමත් සමඟ තමන් සතු කර ගැනීමේ අරමුණින් ඉම්රාන්ගේම ගෝලයෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම, වෙඩි ප්‍රහාරයට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කුඩු චූටිගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද යොදවා ඇති බවයි එම උසස් පොලිස් නිලධාරීයා කියා සිටියේ.