Gossips

කුඩාවැල්ල ධීවර වරායේ, වෙඩි තැබීම ගැන සොයන්න කොළඹ අපරාධ කොට්ඨාශය තංගල්ලට

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන් තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයින් අවුරුදු 20ත්, 50ත් අතර වයස්වල පසුවනවා.
මිය ගිය පුද්ගලයින් අතර ව්‍යාපාරිකයින් දෙදෙනෙකු, ධීවරයෙකු සහ පාරිභෝගිකයෙකු ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.
ඔවුන් කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අද උදෑසන 7.15ට පමණ කුඩාවැල්ල ධීවර වරායට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.
වෙඩි තැබීම සඳහා ටී – 56 ගිනි අවියකින් සහ පිස්තෝලයක් භාවිතා කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ධීවරයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ මාතර හා තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ මෙම විමර්ශන සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මීට අමතරව කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ද විමර්ශන සඳහා තංගල්ලට පිටත් කර තිබෙනවා.