Gossips

කුඩාවැල්ලේ වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 11 ක් – 8 දෙනෙකු තවමත් රෝහලේ

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළදී පුද්ගලයින් හතරදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් 8 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 11 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
අද පස්වරුවේ වාද්දුව පොලිස් ස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ද විමර්ශන කටයුතු සඳහා එක්ව ඇති බවයි.
එමෙන්ම සී සී ටී වී සහ දුරකථන කුළුණු දත්ත උපයෝගී කරගනිමින් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
අද උදෑසන 7.15 ට පමණ කුඩාවැල්ල ධීවර වරායට ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.
වෙඩි තැබීම සඳහා ටී – 56 ගිනි අවියකින් සහ පිස්තෝලයක් භාවිතා කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ධීවරයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
වෙඩි තැබීමෙන් ජයසිංහ මනාච්චිගේ සමීර, රත්නවීර පටබැඳිගේ ශෂික් තිවංක, යද්දෙහිගේ ලකේෂ් උදය කුමාර සහ කංකානම් ගමගේ සඳුන් චානක මියගිය අතර, ඔවුන් කුඩාවැල්ල ආශ්‍රිත ගම්මානවල පදිංචිකරුවන්.