Gossips

කිලිනොච්චියේ දිවියා ඝාතනයට වනජිවි දෙපාර්තමේන්තුවෙන් නීතිමය පියවර

කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජිවි දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් සී.සූරියබණ්ඩාර කියා සිටියේ වනජිවි නිලධාරින් දිවියා කොටුකර ගැනීමට මෙහෙයුම දියත් කරන අවස්ථාවේ ප්‍රදේශවාසීන් ඊට බාධා එල්ලකොට ඇති බවයි.
ඔවුන්ගේ ගිනි අවි පැහැර ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා ගැනීමට වනජිවි නිලධාරින් එම ස්ථානයෙන් නික්ම ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් මෙලෙස දිවියා ඝාතනය කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ප්‍රදේශවාසීන් චෝදනා කළේ දැනුම්දීමට අනුව දිවියා කොටුකර ගැනීමට අවශ්‍ය ආම්පන්න ගෙන ඒමකින් තොරව කිලිනොච්චි වනජිවි නිලධාරින් එම ස්ථානයට පැමිණි බවයි.
පසුව ඔවුන් නැවත පිටව ගොස් ඊට අවශ්‍ය නිර්වින්දන උපකරණ රැගෙන එම ස්ථානයට පැමිණ ඇත්තේ පැය කිහිපයක් ගත වීමෙන් අනතුරුවයි.
දිවියාගේ පහරදීම හේතුවෙන් අම්බාල්කුලම ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දිවියන් වැනි සතුන් මරා දැමීම, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත උල්ලංඝනය කිරීමක් බවයි.