Gossips

කිරි පැකට් ප්‍රශ්නය ඔඩු දුවයි – එජාපය සහ ඒකාබද්ධය පොලීසි යයි

ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පුද්ගලයින්ට ආසාත්මික තත්ත්වයක් ඇති වූ කිරිපැකට් ලබාදීම පිටුපස එක්සත් ජාතික පක්ෂය සිටින බවට තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ අදාළ කිරි පැකට් ප්‍රවාහනය කළ වෑන් රථය එදින පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි බවට සාක්ෂි පවතින බවයි.
කොළඹ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ද කිරිපැකට් ගැටළුව සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද පිටකොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ කිරිපැකට් ගැටළුව සම්බන්ධයෙන්.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂය පසුගියදා කොළඹදී සිදුකළ විරෝධතාව අතරතුර විෂ සහිත කිරිපැකට් ලබාදුන්නේ යැයි තමන්ට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එමගින් ඔවුන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ පුද්ගලයින් නීතිය හමුවට පමුණුවන ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර, ඊට පෙර ඔවුන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ පිළිබදව අදහස් පළ කර සිටියා.
සමාජවාදී ජනතා පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ ජනබලය කොළඹට විරෝධය පෙරහුරුවක් බවයි.
එමෙන්ම, ඉදිරියේදී දීප ව්‍යාප්ත වර්ජනයක් සිදුකර ජන විරෝධයක් පවත්වන බව ද ඔහු එහිදී සඳහන් කළා.