Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට, වෙඩි තැබූ ප්‍රධාන සැකකරු කොළඹ

කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමියන්ට වෙඩි ප්‍රහාර එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු, මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර කොළඹ ප්‍රදේශයේ සැඟව සිටින බවට අනාවරණ වී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරු ප්‍රදේශ කිහිපයක සැඟව සිට මේ වනවිට කොළඹට පැමිණ ඇති බවයි.
නුදුරේදීම ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බව ද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළා.
මේ අතර පසුගිය 12 වනදා රාත්‍රියේ කිරිවෙහෙර අසළදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමියන් තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.
ආයුධ සන්නද්ධ පුද්ගලයන් තුන්දෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ අතර, එහිදී උන්වහන්සේගේ අතකට සහ උදරයට වෙඩි ප්‍රහාර එල්ලවී තිබුණා.
ඊට අමතරව උන්වහන්සේ සමඟ සිටි තවත් හිමික් ද තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර උන්වහන්සේ මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා.
මේ අතර, මොණරාගල ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.