Gossips

කිරිවෙහෙර නාහිමි සුව අතට

වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.
එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ උන්වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු මේ වනවිටත් සිදුකර අවසන් බවයි.
වෙඩි ප්‍රහාරයෙන් විහාරාධිපති හිමියන්ගේ උදරයට සහ අතකට තුවාල සිදුවුණා.
විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර නැමැත්තා බවට පොලිසිය මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම ඊට සම්බන්ධ අනෙක් සැකකරුවන්ද හඳුනාගෙන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ප්‍රධාන සැකකරුගේ කතරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කඩුවක්, කිණිසි දෙකක් සහ ජීව උණ්ඩ 10 ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සොයාගත්තා.
නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන් ආගමික වතාවත්වල නිරත වී කිරිවෙහෙර උඩ මළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ පෙරේදා රාත්‍රියේයි.
පහත මළුවේ සැඟව සිටි තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර කිරිවෙහෙර ආසන්නයේ නවතා තිබූ රතු පැහැති ජීප් රථයක නැගී පළා ගොස් තිබුණා.
යූ.පී. සී.ඒ.ජී. 8531 දරණ මෙම සුඛෝපභෝගී ජීප් රථය වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වූ ගාමිණීපුර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන සැකකරුගේ නිවසේ ගාල්කර තිබියදී ඊයේ පස්වරුවේ පොලීසිය සොයාගත්තා.