Gossips

කිරිවෙහෙර නාහිමියන්ගේ තත්වය සුව අතට (ඡායාරූප)

වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතිනවා.
උන්වහන්සේ ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහල් බලධාරීන් මේ බව සඳහන් කළා.

(ඡායාරූප : කතරගම කිරිවෙහෙර රාජමහා විහාර වාසි හිනිඳුම සුගතවංස හිමි)
වෙඩි ප්‍රහාරයකින් උදරයට සහ අතකට තුවාල සිදුවූ ඓතිහාසික කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර ලබන්නේ කොළඹ පෞද්ගලික රෝහලකයි.
එම රෝහලේ මෙහෙයුම් අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මිය සඳහන් කලේ උන් වහන්සේට පෙරේදා (13) රාත්‍රියේ ශල්‍යකර්මයක් සිදු කළ බවයි.
විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර නැමැත්තා බවට පොලිසිය හඳුනාගෙන තිබුණා..
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කළා.
පොලිසිය පැවසුවේ ජංගම දුරකතනය ඔස්සේ ඔහු සිටි ස්ථාන කිහිපයක් හඳුනාගෙන පරීක්ෂා කළද සැකකරු එම ස්ථානවලින්ද පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් ද පොලිසිය හඳුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ආගමික වතාවත්වල නිරත වී කිරිවෙහෙර උඩමළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටි කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වෙඩි ප්‍රහාරයකට ලක්වූණේ රාත්‍රියේදීයි.
මෙහිදී උන්වහන්සේ සමගින් එම ස්ථානයේ රැදී සිටි විහාරවාසී පුජ්‍ය වීදාපොළ සෝභිත හිමියන් ද තුවාල ලැබුවා.
කොළඹ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන ධම්මින්ද හිමියන්ගේ සුවදුක් විමසීමට ඊයේ (14) බොහෝ පිරිසක් පැමිණියා.
මේ අතර අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් කිහිප දෙනෙක් විවිධ ස්ථානවලදී අදහස් පළ කළා.