Gossips

කිරිපිටි රුපියල් 60ත් 70ත් අතර මිලකින් ඉහල යන ලකුණු

කිරිපිටි මිල සූත්‍රයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමත් සමඟ නුදුරේදීම ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 60ත් 70ත් අතර අගයකින් ඉහළ යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
මිල සූත්‍රයට අනුමැතිය ලැබීමත් සමඟ කොළඹ වරායේ ගොඩ ගැසී තිබූ ආනයනික කිරිපිටි නිදහස් කරගැනීම ආරම්භ කළ බවයි කිරිපිටි සමාගමක උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය පෙබරවාරි මාසයේදී ආනයනික කිරිපිටි කිලෝවක මිල ඉහල දමන ලෙස කිරිපිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කළ අතර ඉන් අනතුරුවයි කිරිපිටි සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට රජය පියවර ගනු ලැබුවේ.
එම මිල සූත්‍රය පෙරේදා රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශූ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් විසින්.
ඒ අනුව ලෝක වෙලඳපොළේ කිරිපිටි මිලද සසදමින් මිල සූත්‍රයට අනුව නව මිල ගණන් සකස් කරන බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.
කෙසේ වෙතත් ඉහල යන මිල ගණන් සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අවසරය හිමිවිය යුතු වනවා.
එහෙත් අධ්‍යක්ෂ මණ්ඩලයේ පුරප්පාඩු මෙතෙක් සම්පූර්ණ කර නොමැති නිසා කිරිපිටි නව මිල ගණන් සඳහා අනුමැතිය ලබාදීම ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
කෙසේ වෙතත් කිරිපිටි මිල සූත්‍රයට අනුව සකස් කළ නව මිල ගණන් ක්‍රියාත්මක කළහොත් දැනට රුපියල් 860ක් වන කිරිපිටි කිලෝවක මිල රුපියල් 920 දක්වා ද රුපියල් 345ක් වන ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 370 දක්වා ද ඉහල යනු ඇති.