Gossips

කිරිපිටි මිල සංශෝධනය කෙරෙන කාලසීමාව ගැන අමාත්‍ය පී. හැරිසන් සහ පාරිභෝගික අධිකාරිය මත දෙකක

මිල සූත්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල සංශෝධනය කෙරෙන කාල සීමාව සම්බන්ධයෙන් එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය පී. හැරිසන් සහ කිරිපිටි මිල සංශෝධනය කරනු ලබන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරස්පර අදහස් පළ කරනවා.
පසුගිය සිකුරාදා රාත්‍රියේ එම අධිකාරිය, කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහල දමනු ලැබුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වූ නව කිරිපිටි මිල සූත්‍රයට අනුවයි.
කර්මාන්ත හා වානිජ, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් සහ මුදල් යන අමාත්‍යාංශවල නියෝජිතයින් මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ආනයනික කිරිපිටි සමාගම්වල නියෝජිතයින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් මගින් මෙම මිල සූත්‍රය සකස් කරනු ලැබුවා.
කෙසේ වෙතත් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් විසින්.
නව මිල සූත්‍රයට අනුව සිදු කළ මිල සංශෝධනය සම්බන්ධයෙන් පෙරේදා දිනයේදී පාරිභෝගික කටයුතු අධිකාරිය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළ අතර එහි දැක්වුණේ සෑම මාස තුනකට වරක් ආනයනික කිරිපිටි මිල ගණන් සලකා බලා අදාල තාක්ෂණික කමිටුව මගින් කිරිපිටි මිල සංශෝධනය සිදුකරන බවයි.
කෙසේ වෙතත් සංශෝධනය වූ ආනයනික කිරිපිටි මිල වසර අවසානය වනතෙක් බලපැවැත්වෙනු ඇති බවයි මිල සූත්‍රය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය පී. හැරිසන් අනුරාධපුරයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.