Gossips

කිරිපිටි මිල මේ සතියේ වැඩි වන ලකුණු

මෙම සතියේදී කිරිපිටි මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා කරන බව කිරිපිටි සමාගම් පවසනවා.
අලුතින් සකස් කරන ලද මිල සූත්‍රයට අනුව පළමුවරට කිරිපිටි මිලෙහි සංශෝධනයක් සිදුවනු ඇති බවයි ප්‍රධාන පෙලේ කිරිපිටි සමාගමක උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ලෝක වෙළඳපොළේ ඇමරිකානු ඩොලර් 3350ක්ව පැවති කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක මිල ඩොලර් 3000ක් දක්වා මේ වනවිට පහත බැස තිබෙනවා.
එහෙත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 120ත් අතර ප්‍රමාණයකින් ඉහල නංවන ලෙසයි කිරිපිටි සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇත්තේ.
මීට මාස කිහිපයකට පෙර සිදුකළ එම ඉල්ලීමට පාරිභෝගික අධිකාරිය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
මෙම නිසා අලාභය අවම කර ගැනීම සඳහා සමාගම් තීරණය කර ඇත්තේ ඇණවුම් කළ කිරිපිටි තොග වරායෙන් නිදහස් කර ගැනීම අත්හිටුවීමටයි.
ඒ අනුව මේ වනවිට කිරිපිටි මෙටි‍්‍රක් ටොන් 1200ත් 1500ත් අතර ප්‍රමාණයක් රේගුවේ ගොඩගැසී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප්‍රධාන පෙලේ කිරිපිිටි සමාගමේ ප්‍රධානියා සඳහන් කළේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් කිරිපිටි සමාගම් වල ප්‍රධානීන් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සමඟ ද සාකච්ජා කර ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල ඉහල නැංවීමටයි.
අප මේ සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ කිරිපිටි සමාගම්වල ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් අමාත්‍යාංශ මට්ටමින් සාකච්ජා පැවැත්වෙන බවයි.