Gossips

කිරිගොවියා අගාධයට දැමූ දැවැන්ත මූල්‍ය වංචාවේ හිරු CIA මීළඟ අනාවරණය

මෙරට කිරිගොවියා දරුණු අගාධයකට ඇද දමමින් සිදුකරන ලද දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබදව අප ඊයේ හිරු සී.අයි.ඒ. තුළින් හෙළි කළා.
එලෙස ගෙන ආ කිරි ගවයින්ට අත්වූ ඉරණම පිළිබදවයි අද හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව.
දේශීය කිරි සම්පත නගා සිටුවීමට පැවති හා වත්මන් ආණ්ඩු කුමන ආකාරයේ පුරසාරම් බස් දෙඩූවද අවසන සිදුවූයේ ආනයනික කිරිපිට මත සියල්ල තීන්දුවන වෙළෙදපොලක් නිර්මාණය වීමයි.
එහි අවසන් ප්‍රතිඵලය වූයේ දේශීය කිරිගොවීන් දිනෙන් දිනම සිය කර්මාන්තයෙන් ඉවත්ව යෑමයි.
මෙරට කිරි ගොවීන් එතෙක් කරගෙන ගිය ව්‍යාපාරද කාබාසිනියා කරදැමීමට සමත්වූ ආණ්ඩුවේ කිරි ගවයින් ආනයන ව්‍යාපෘතියේ වංචා සහගත තැන් කොතෙක්වීද යත් අවසානයේ ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විමර්ශනයක්ද ආරම්භ කළා.
එහි විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් විගණකාධිපතිවරයා සදහන් කර ඇත්තේ මෙම සමස්ත ව්‍යාපෘතිය විදිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව කටයුතු කර ඇති බැවින් ඒ තුළින් මෙරට ආර්ථිකයට මූල්‍යමය වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් අවාසිදායක තත්ත්වයක් ඇතිව ඇති බව විගණනයේදී හෙළිවූ බවයි.
ඒ අනුව ආනයනික කිරි ගවයින්ගේ ආයු කාලය කෙටි බවත්, පැටවුන් ලැබීමේ හැකියාව අඩු බවත්, රෝග වලට භාජනය වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.
එමෙන්ම ආනයනික කිරි ගවයන්ගෙන් දිනකට ලීටර් 20 ක කිරි ප්‍රමාණයක් ලබාගත හැකි බවට ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවෙහි සදහන් කර තිබුණද කිසිදු ආනයනික කිරි ගවයෙකුගෙන් එවන් කිරි ප්‍රමාණයක් ලැබී තිබුනේ නැහැ.
ඇතැම් කිරි ගවයින්ගෙන් කිරි කදුලක් හෝ නොලැබුණේ ඒ වන විටත් බහුතර කිරි හරක් රෝගී තත්ත්වයේ සිටි නිසයි.
කිරි ගවයින් බෙදාදීමේ ව්‍යාපෘතියේ හාස්‍යජනක ක්‍රියාවන්ද විගණන වාර්තාවෙන් හෙළිදරව් විය.
එනම් විගණන වාර්තාව සැකසීමට විගණන නිලධාරීන් කිරිගවයින් බෙදාදුන් ප්‍රතිලාභීන්ගේ නාමලේඛණයේ කිරි ගවයින් 20 ක් ලබාගත් බවට සදහන් දෙවින්ද ගොවිපලෙහි ලිපිනය වෙත ගියවිට එම ලිපිනයේ තිබී ඇත්තේ ගන්නොරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයයි.
මෙම ව්‍යාපෘතිය හරහා සිදුවූ භයානකම දෙය නම් එතෙක් මෙරට නොපැවති රෝග ගණනාවක් කිරි ගවයින්ද සමග පැමිණීමයි.