Gossips

කිරලාගල ස්ථූපයට නැග ඡායරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට

ඓතිහාසික කිරලාගල ස්ථුපය මත නැගී ජායාරූප ගත් අග්නිදිග විශ්ව විද්‍යාල සිසුන් 7 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අදාළ සිසුන් අත්අඩංගුවට ගත් බවයි.
ඓතිහාසික කිරලාගල ස්ථූපය මත නැගී ගන්නා ලද ඡායාරූපයක් සමාජජාල ඔස්සේ හුවමාරු වන බවට එම කලාපය භාර පුරාවිද්‍යා නිලධාරිවරයා හොරොව්පතාන පොලිසියට පැමිණිලි කර තිබුණේ ඊයේ (22) පස්වරුවේයි.
එමඟින් සඳහන් කර තිබුණේ පසුගිය ජනවාරි 05 වනදා හෝ ඊට ආසන්න දිනකදී කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් මෙම ජායාරූපවල පෙනී සිටින බවයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ බව පුරා විද්‍යා නිලධාරීවරයා සිය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් පොලිසිය වෙත දන්වා තිබුණා.
ඒ අනුවයි මේ සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසියේ විශේෂ විමර්ශණ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය වූයේ එම ඡායාරූපවල පෙනී සිටින්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බවටයි.
ඔවුන් ත්‍රිකුණාමලය සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් බවට ද හෙළි වුණා.
ඓතිහාසික කිරලාගල ස්ථූපය ක්‍රිස්තු වර්ෂ 3වන සියවසට අයත් වන අතර ස්ථූපය පිහිටි භූමියේ ඓතිහාසික සෙල්ලිපි කිහිපයක් ද පවතිනවා.
පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල සඳහන් කළේ අත්අංඩගුවට ගන්නා තරුණයන්ට එරෙහිව පුරාවිද්‍යා පණත යටතේ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
මේ අතර, මීට පෙර ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියක් වාර්තා වූ අතර, ඉන් පසුව යළිත් එවැනිම පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථානයක් වන ත්‍රිකුණාමලය – වෙල්ගම් වෙහෙර ඓතිහාසික පුද බිමේ දාගැබක නටබුන් මත මෙලෙස ඡායාරූප ගැනීමේ සිද්ධියක් වාර්තා වුණා.