Gossips

කින්නියා සිද්ධියෙන් තුවාල ලැබූ නාවික හමුදා සෙබළු තවමත් රෝහලේ

ත්‍රිකුණාමලය – කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයෙන් මහවැලි ගඟේ සිදු කෙරෙන අනවසර වැලි ගොඩ දැමීමේ කටයුතුවල නිරත පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නාවික හමුදා සෙබළුන් සිව්දෙනෙකු තවදුරටත් ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
තුවාල ලැබූ සෙසු නාවික හමුදා සෙබළුන් 8 දෙනාගේ තත්ත්වය යහපත් අතර, ඔවුන්ට නාවික හමුදා වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මහවැලි ගඟේ අනවසර වැලි ගොඩදැමීම් මැඩලීමට පිහිටවූ ජනාධිපති කාර්ය සාධන බලකාය නාවික හමුදාවේ සහාය ඇතිව කන්දල්කාඩු ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් අතර ඊයේ පෙරවරුවේ මෙම නොසන්සුන්තාව හටගත්තා.
වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ජාවාරම්කරුවන් තුන් දෙනෙකු ගඟට පැන පීනා පළා ගොස් තිබුණා.
එහිදී ප්‍රකෝපකාරී ලෙස සංවිධාන වූ ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව එහි සිටි නාවික හමුදා භට පිරිස් වෙත පහරදීමට උත්සාහ කර ඇති අතර, එහිදී පිරිස විසුරුවා හැරීමට අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමටද නාවික හමුදාවට සිදුවුණා.
මෙම සිද්ධියේදී පලාගිය පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු පොලිස් භාරයට ගෙන තිබූ අතර, ගඟට පැන පිහිනා පලා යාමට උත්සාහ කිරීමේදී අතුරුදන් වූ දෙදෙනාගෙන් එක් අයෙකු වන 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ සොයාගත්තා.
අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව හා පොලීසිය එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.