Gossips

කින්නියා ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක්

ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයෙන් මහවැලි ගෙඟ් වැලි ගොඩදැමීම කිසිසේත් නොකළ යුතු බවත්, එය අධිආරක්ෂිත සහ සංරක්ෂක කලාපයක් බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කරනවා.
එහි සභාපති අසේල ඉද්දවල කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම ප්‍රදේශයෙන් අනවසර වැලි ගොඩදැමීම් බහුල වශයෙන් වාර්තාවන බවයි.
ත්‍රිකුණාමලය – කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුමක් අතරතුර මහවැලි ගඟට පැන අතුරුදන්ව සිටි 19 හැවිරිදි අනෙක් තරුණයාගේ සිරුරත් පොලීසිය ඊයේ සොයාගත්තා.
ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ තවදුරටත් එම ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තාවන්නේ.
මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන වැලි ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පිහිටවූ ජනාධිපති කාර්ය සාධන බලකාය යටතේ නාවික හමුදාව පෙරේදා කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයේ වැටලීමක් ක්‍රියාත්මක කළා.
එහිදී ගඟට පැන පලායාමට පුද්ගලයන් දෙදෙනෙකු උත්සාහ කළ අතර, ඔවුන් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරුව ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර, සිවිල් වැසියන්ගේ පහරදීමෙන් නාවික හමුදා සෙබළුන් 12 දෙනෙකු තුවාල ලැබුවා.
ඔවුන්ගෙන් තුන්දෙනෙකු තවදුරටත් ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.