Gossips

කැළණි ගඟ අවට ජනතාවට දැනුම් දීමක්

කැළණි ගඟේ ජල මට්ටම අඩුවෙයි – කළු ගඟ තවමත් අවදානම්
කැළණි ගඟේ ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් කැළණි ගඟේ නාගලගම් වීථිය ජල මාපකයේ තවමත් සටහන් වන්නේ සුළු ගං වතුර මට්ටමක්.
මේ අතර පසුගිය පැය 6 ඇතුළත ඇතිවූ වර්ෂාවත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර වර්ෂාවත් සමඟ ඇතිවූ විවිධ ආපදා හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ දැනුම්දීමක් සිදුකරනවා.
වර්ෂාවත් සමඟ යළිත් ජල ගැලීම් සහ පස් කඳු කඩාවැටීම් ඇතිවිය හැකි බැවින් යළි දැනුම්දෙන තුරු නිවෙස් කරා නොයන ලෙසටයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමටද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.