කැළණි ගඟ දෙපස ඉතා ආසන්නයේ සිටින ජනතාව හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටිනවා.
ඒ කැළණි ගඟේ ජල මට්ටම මහා ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන්.
වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් පළාත් රැසකට ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද රාත්‍රී කාලයේදීත්, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ද මිලිමීටර 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වර්ෂාවත් සමඟ ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 11 කට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය, මහනුවර, බදුල්ල, මාතලේ, ගාල්ල, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට මෙලෙස නායයෑමේ අවදානමක් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා කොළඹදී අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුලු ඒකකවල නිලධාරීන් එක්ව සිටියා.
නායයෑම් පිළිබඳව අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 ක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
මේ අතර වර්ෂාවත් සමඟ කළු, කැළණි, ගිං ගංඟාවල ජල මට්ටම සහ අත්තනගලු ඔයේ ජල මට්ටමද මහා ගංවතුර තත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම මහවැලි ගඟේ ද ජල මට්ටම සුළු ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ එම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.
මීට අමතරව අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන, ඉහළ කොත්මලේ, කුකුළේගඟ, පොල්ගොල්ල සහ දැදුරු ඔය යන ජලාශවලද වාන් දොරටු විවෘත කර තිබෙනවා.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 ක් අද දහවල් විවෘත කෙරුණු අතර, මේ හේතුවෙන් මහවැලි ගෙඟ් ජල මට්ටම ඉහළ යා හැකි බවයි මහවැලි අධිකාරිය සඳහන් කළේ. එමෙන්ම ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු 4 ක් විවෘත කර තිබෙනවා.
මීට අමතරව දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 8 ක්ද, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කෙරුණේ අධික වර්ෂාපතනය හේතුවෙන්.
වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතුවලටද මේ වනවිට බාධා එල්ලවී තිබෙනවා.
ස්ථාන කිහිපයකින් පස් කඳු කඩාවැටීම නිසා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට ඇණහිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මීට අමතරව මාතර – අකුරැස්ස ප්‍රදේශයේද අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර ගාල්ල – හිනිඳුම – තවලම ප්‍රදේශද අඩි දෙකහමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවටයි වාර්තාවන්නේ.
එමෙන්ම රත්නපුර නගරයේ සීවලී ක්‍රීඩාංගණය ඇතුලු අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන බණ්ඩාරනායක මාවතද ඒ හේතුවෙන් වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
වර්ෂාවත් සමඟ ගම්පහ – පට්ටිවිල, මල්වාන සහ මාකවිට යන ප්‍රදේශද ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ හෙට දිනයෙන් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වර්ෂාව පවතින අවස්ථාවේදී මසුන් ඇල්ලීමට ගොස් ගිං ගඟේ දිය පහරට හසුව අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ද අද දහවල් සොයාගැනුනේ නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදියි.
මේ අතර රඹුක්කන ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් ද අද දහවල් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පසුගිය දින දෙක තුළ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකුත්, පස් කඳු සහ ගස් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුත් මියගොස් තිබුණා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ වර්ෂාවත් සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙසටයි.
ගං වතුර තත්ත්වයන් අනවශ්‍ය ලෙස නැරඹීමට යාමෙන් වළකින ලෙස ද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම අයහපත් කාලගුණයෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 12 කට බලපෑම් එල්ලවී තිබෙනවා.
පවුල් 3438 කට අයත් පුද්ගලයින් 13,314 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
අවශ්‍ය ඕනෑම අවස්ථාවක විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා යුද, ගුවන් සහ නාවික හමුදා සූදානමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩිර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ.
එමෙන්ම දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම ආපදා මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, අයහපත් කාලගුණය පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
ඒ අනුව සබරගමු පළාතේ රත්නපුර, නිවිතිගල සහ දෙහි ඕවිට අධ්‍යාපන කලාපවල සියළුම පාසල්වලට අද සහ හෙට යන දෙදින නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම මාතර – අකුරැස්ස, පානදුගම සහ අතුරලිය යන ප්‍රදේශවල ද පාසල් කිහිපයක් අද දින වසා දැමුණේ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්.
මේ අතර මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගනිමින් අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අදාළ උපදෙස් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව සහන සැලසීම සඳහා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක ද හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ආපදාවන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලු ජනතාවට සහන සැළසීම සඳහා දැනටමත් කටයුතු සැළසුම් කර ඇති බවයි.