Gossips

කැළණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය මහා ගංවතුර තත්වයට

අධික වර්ෂාපතනයත් සමඟ කැළණි, ගිං සහ කළු යන ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේද ජල මට්ටම් මේ වනවිට මහා ගං වතුර තත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගංඟා දෙපස ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බවටයි.
මේ අතර වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතුවලටද මේ වනවිට බාධා එල්ලවී තිබෙනවා.
ස්ථාන කිහිපයකින් පස් කඳු කඩාවැටීම නිසා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ලවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගිනිගත්හේන – දියගල ප්‍රදේශයෙන් සහ අවිස්සාවේල්ල – පත්බේරිය ප්‍රදේශයෙන් මෙලෙස පස් කඳු කඩාවැටී ඇති බව සඳහන්.
මීට අමතරව මාතර – අකුරැස්ස ප්‍රදේශයේද අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
අකුරැස්ස – සියඹලාගොඩ, අකුරැස්ස – කත්දූව, අකුරැස්ස – කඹුරුපිටිය යන මාර්ග අඩි 5 ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද රාත්‍රී කාලයේදීත්, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටද මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.