Gossips

කැලි කසළ නිසා දිනෙන් දින විනාශ මුඛයට යන මාදම්පාවිල අභයභූමිය

බලධාරීන් නිදා සිටියදී කැලි කසළ හේතුවෙන් දිනෙන් දින විනාශ මුඛයට යන අම්බලන්ගොඩ මාදම්පාවිල අභයභූමිය පිළිබඳවයි අද සී.අයි.ඒ. අනාවරණය.
අම්බලන්ගොඩ – හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිමව ඇති මාදම්පාවිල තෙත් බිම් ප්‍ර දේශය අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා අභයභූමියක් ලෙස නම් කරන්නේ 2007 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදායි.
මෙරටට ආවේනික ශාක හා සත්ව විශේෂ 138 කට වාස භූමිය සපයන අතිශය වටිනා ජෛව විවිධත්වයකින් හෙබි මෙම තෙත් බිම් කලාපය දිනෙන් දින විනාශ වන්නේ අම්බලන්ගොඩ නගර සභාව මගින් සිදුකරන මහා පරිමාන අවිධිමත් කසල බැහැර කිරීම හේතුවෙන්.
මේ හරහා සිදුවන පරිසර විනාශය නිරීක්ෂණය කිරීම සඳහා හිරු සී.අයි.ඒ. පරිසරවේදීන් කණ්ඩායමක් සමග මාදම්පාවිල අභයභූමියේ ඉතා සංවේදී කලාපයක් වන හල්වතුර ප්‍රදේශයට ලගා වුණා.
පරිසර අධිකාරිය මගින් 2011 වසරේ සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවකදී නිරීක්ෂණය වූ මෙම විනාශය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ නගර සභා සභාපතිවරයාට දැනුම් දෙන මධ්‍යම පරිසර අධිකාරිය සභාපතිවරයාට දැනුම් දෙන්නේ තවදුරටත් මෙම ප්‍රදේශයට කසළ බැහැර කිරීම සිදු නොකරන ලෙසටයි.
අදාල ලිපිය නිකුත් කර අවුරුදු 07 කට අධික කාලයක් ගතවී ඇතත් කසල කලමනාකරණයට නිසි විසඳුමක් සෙවීමට අම්බලන්ගොඩ නගර සභා බලධාරීන්ට මෙතෙක් නොහැකිවීම විමතිය කරුණක්.
එපමණක් ද නොවේ, මේ අවිධිමත් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අප කළ ප්‍රශ්න කිරීම්වලදී සභාපතිවරයා උත්සහ කළේ ව්‍යාජ තොරතුරු ලබාදී අප මුලා කිරීමටයි.
මාදම්පාවිල අභය භූමිය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බව පවසමින් දැන්වීම් පුවරු පමණක් ප්‍රදර්ශනය කිරීම ප්‍රමාණවත්ද ?
එහි ආරක්ෂාවට කැපවිය යුතු බලධාරීන් මර නින්දේ පසුවද්දී මෙම සංවේදී පරිසර කලාපය රැකගන්නේ කවුද ?
හිරු සී.අයි.ඒ ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්.