Gossips

කැබිනට් සංශෝධනය අදත් නැහැ

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද දිනයේ සිදුවන බවට වාර්තා පළ වුව ද, මේ වනතුරුත් එවැන්නක් සිදුවී නැහැ.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර, සංශෝධන සම්බන්ධයෙන් එකගතාවක් නොමැතිවීම නිසා එය කල් ගිය බවයි.
සිදුවන අමාත්‍ය මණ්ඩල වෙනස තුළ ඇතැම් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙනස් වන බව, මේ වනවිටත් විවිධ ප්‍රචාරයන් පැතිර ගොස් තිබෙනවා.
අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඊයේ දිනයේදී අනාවැකි පළ කළා.
අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් ද මාධ්‍යවේදීන් මේ පිළිබදව ප්‍රශ්න කළා.
අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීම සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දැඩි මතයක සිට කටයුතු කළ අමාත්‍යවරයෙකු ලෙසයි දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පසුගිය දිනවල කතාබහට ලක්වුණේ.
පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල හමුවට ඔහු සහභාගි නොවූ අතර, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ද එක්වූයේ නැහැ.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා අද මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ් ජනතා ගැටලූ නිසි පරිදි කළමනාකරණය නොකළහොත් ආණ්ඩුව තවදුරටත් පිරිහීම නොවැළැක්විය හැකි බවයි.
මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ ආණ්ඩුව රගපෑ නාට්‍යය අවසන් කරමින් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට සූදානම් වන බවයි.
වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලෙසයි මෙය සැළකෙන්නේ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දරණ අමාත්‍ය ධුර ද ඇතුලූව මේ වනවිට රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 47 ක්.
ඒ අතර ජනාධිපතිවරයා ද ඇතුලූව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 ක්. අග්‍රාමාත්‍යවරයාද ඇතුලූව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 32 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබනවා.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 22 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සිටින අතර, ඉන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ 11 එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබනවා.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 12 ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය 30 කට සීමා කර ඇති අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 කට සීමා කර තිබෙනවා.
කෙසේ වෙතත් වත්මන් රජය එම සීමාව ඉහළ දමනු ලැබුවේ ජාතික ආණ්ඩු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුවයි.