Gossips

කැබිනට් සංශෝධනයට පෙර ජනපති – අගමැති හමුවක්

හෙට සිදුවීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද සිදුවුණා.
ඒ, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මාමණ්ඩිය වන අභාවප්‍රාප්ත වයඹ පළාත් හිටපු අමාත්‍ය බී.එම්. විජේනායකගේ නිවසේදියි.
ඔහුගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අවසන් ගෞරව දැක්වූ අතර, පසුව දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද නිවසට පැමිණියා.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එම නිවසේ කාමරයක් තුළදී සාකච්ඡාවකද නිරතවී තිබෙනවා.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ අමාත්‍ය දයා ගමගේද එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 10 ට සිදුකිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
උදෑසන 9.30 වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙසට ජනාධිපති කාර්යාලය විසින් අමාත්‍යවරුන් වෙත මේ වනවිටත් දැනුම්දී අවසන්.
පසුගිය සිකුරාදා දඹුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙටට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයේදී සිදුවන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද ඉඟියක් පළ කළා.
ඒ අනුව හෙට සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය ධුරවල විෂයන් රැසක් සංශෝධනය වීමට නියමිත බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මීට පෙර අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු ආචාර්ය විජේදාස රාජපක්ෂටද හෙට සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නව අමාත්‍ය ධුරයක් හිමිවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
තවද පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් දැරූ අමාත්‍ය ධුරවලට ද නව අමාත්‍යවරුන් පත් කෙරෙනු ඇති.