Gossips

කැබිනට් රැස්වීම ගැන ‘‘හින්දු’’ පුවත අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි

කිසිදු ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියාසිටියේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් පිළිබඳ දේශීය හා අන්තර්ජාතික වශයෙන් පළවු මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයේ අවදානය යොමුව ඇති බවයි.
ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ක්‍රියාත්මක වු බව කියන කුමන්ත්‍රණය පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.
එම සිදුවීම පිළිබඳ පුලුල් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මෙම කැබිනට් රැස්වීමේ විවිධ අවස්ථාවන්වලදී සාකච්ඡා කළ අනෙක් මාතෘකා අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද වනවා.
එහිදී ජාතික ආර්ථිකයේ යහපත උදෙසා ශ්‍රී ලංකාවට ගැඹුරු මුහුදක් සහිත වරාය පර්යන්තයක් තිබීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ වත්මන් රජය ආරම්භයේ සිටම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අතිශය සුහදශීලී සබඳතාවක් සහ සහයෝගීතාවක් පැවති බවයි.
දෙරට අතර රාජ්‍ය නායක මට්ටමේ සංචාර ගණනාවක් සිදුවී ඇති අතර එම සංචාර රටවල් දෙකෙහි විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනයට ද හේතුවී තිබෙනවා.
එමෙන්ම ඉන්දීය මහකොමසාරිස්වරයා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඇති අතර එහිදී සිදුවු සාකච්ඡාවේදී සියලු කරුණු පැහැදිළි කෙරුනු අතර ද්වීපාර්ශවික සබඳතා ඉහළ සුහදශීලී බවකින් සිදුවන බවටයි සහතික වී ඇත්තේ.
මෙවැනි තත්වයක් යටතේ දෙරට අතර පවතින යහපත් සබඳතාවට මෙන්ම රාජ්‍ය නායකයන් අතර පවතින පෞද්ගලික හිතවත්කමට අනර්ථයක් සිදු කිරීමේ අභිලාෂයෙන් මෙවැනි විකෘති ප්‍රචාර සිදු කිරීම කණගාටුදායක තත්වයක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර, අමාත්‍ය මණ්ඩල රැස්වීම පිළිබඳව මෙරට ජාතික පුවත්පත් පළ කර තිබූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහද අද ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.
ඒ, එම රැස්වීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා කිහිපයක් පදනම් කරගනිමින්.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් හේතුවෙන් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව සිංහල සහ ඉංගී‍්‍රසි ජාතික පුවත්පත් රැසක් අද ප්‍රධාන සිරස්තල යටතේ වාර්තා කළා.
එම පුවත්පත් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ ජනාධිපතිවරයා අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට දැඩිව දෝෂාරෝපණය කළ බවයි.
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානය අදාළ ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් යොමුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ පවසනවා.
මේ අතර, ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද හින්දු පුවත්පතද වාර්තා කර තිබුණා.
ඒ, සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඊට එක්ව සිටි අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්න කළා.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තමන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ බව කියන ප්‍රකාශය පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තා පදනමකින් තොර සහ සාවද්‍ය ඒවා බවයි.