Gossips

කැබිනට් රැස්වීම උණුසුම් වූ හේතුවත් කරළියට

අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ ආර්ථික කළමනාකරණ කමිටුව වහා අහෝසි කරන ලෙසට ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කිරීමත් සමග ඇතිවූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් වාර්තාවනවා.
අග්‍රාමාත්‍යවරයා විසින් ආර්ථික කළමනාකරණ කමිටුව පිහිටවනු ලැබුවේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහායි.
එම කමිටුවේ සාමාජිකයින් ලෙස ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශකවරුන් වන ආර්. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග පත්කර තිබුණා.
එහි අමාත්‍ය මණ්ඩල නියෝජිතයෙකු ලෙස පත් කෙරුණේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමයි.
ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී ආර්ථික කළමනාකරණ කමිටුවේ ක්‍රියාකාරීත්වය විවේචනයට ලක් කළේ අදාළ කමිටුව හරහා ගනු ලබන තීරණ හේතුවෙන් රජය, ජනතාව අතර අප්‍රසාදයකට ලක්වන බව පවසමින්.
මේ හේතුවෙන් ආර්ථික කළමනාකරණ කමිටුවේ කටයුතු අත්හිටුවීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත්තා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 20 වනදා කැබිනට් මණ්ඩලය වෙත සන්දේශයක්ද භාරදී තිබුණා.
එහි දැක්වෙන්නේ දැනට අනුගමනය කරන ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයන්වල බරපතල අඩුපාඩු තිබෙන අතර, එමඟින් රට සහ ජනතාව මුහුණදෙන වැදගත් ආර්ථික ප්‍රශ්නවලට ඵලදායී විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.
අදාළ අමාත්‍යාංශ සහ ආයතන සමග නිසි සාකච්ඡා සහ උපදේශනයක් නොමැතිවීම, ආර්ථික යෝජනා පිළිබඳව නිසි සහ ක්‍රමවත් විශ්ලේෂණයක් නොමැතිවීම සහ ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව විධිමත් සම්බන්ධීකරණයක් නොමැතිවීම යන කරුණු ඊට අදාළව එහි ජනාධිපතිවරයා විශේෂයෙන් සඳහන් කර තිබුණා.
මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා විසින් ආර්ථික කළමනාකරන කමිටුව අහෝසි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා කල් ඉල්ලා තිබෙනවා.
නමුත් ඒ අතරතුර යළිත් වරක් අදාළ කමිටුව රැස්වී සාකච්ඡාවල නිරතවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.
ආර්ථික කළමනාකරණ කමිටුව විසින් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා සන්දේශයක් ඉදිරිපත් කර තිබෙන්නේ එවන් පසුබිමක් තුළයි.
ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි විරෝධයක් පළවී ඇති අතර, කැබිනට් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ අදාළ කමිටුව අහෝසි කිරීමේ තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙස එහි සාමාජික අමාත්‍ය මලික් සමරවික්‍රම කළ ඉල්ලීමත් සමගයි.
ඒ පිළිබඳව අද කැබිනට් මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදින් ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු ලබාදුන් සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී දෝෂාරෝපණය නොකළ බවයි.