Gossips

කැබිනට් රැස්වීමේ දී උණුසුම් තත්වයක්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දුම්රිය සේවක වැටුප් පිළිබඳ වූ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් ඇමතිවරුන් තිදෙනෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා.
ඒ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන අය අතරයි.
දුම්රිය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මීට පෙර පත් කර තිබුණා.
එම කමිටුවෙන් ලද නිර්දේශ අනුව අදාල වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක්, ඊයේ රැස් වූ කැබිනට් රැස්විමට ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය සරත් අමුණුගම විසින්.
කෙසේවෙතත් මෙම කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා.
එහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි කැබිනට් පත්‍රිකා හේතුවෙන් අනෙකුත් රැකියා ක්ෂේත්‍රවලද ගැටලු මතු විය හැකි බවයි.
වර්ජන කළ පමණින්ම සියලු ඉල්ලීම් ලබා දීමට ගියහොත් රටේ තව තවත් වර්ජන ඇති විය හැකි බවත්, මෙවැනි කොන්ද පන නැති ආණ්ඩුවක් මීට පෙර තමා දැක නැති බවත් මංගල සමරවීර ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
මීට පෙර ද තමන් කැබිනට් මණ්ඩල නියෝජනය කර ඇතත් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නැති බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මීට මැදිහත් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද සරත් අමුණුගම අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවට පක්ෂව කරුණු දක්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මුදල් අමාත්‍යවරයාගේ විරෝධය එල්ල වුවද අවසානයේ අදාල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
දුම්රිය සේවක වැටුප් විෂමතාව නිවැරදි කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති පසුගියදා වර්ජනයක් සිදු කිරිමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත් ඔවුන් සිය වර්ජනය අත්හිටවුයේ අදාල ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර විසඳුමක් ලබා දෙන බවට සරත් අමුණුගම අමාත්‍යවරයා දුන් පොරොන්දුවක් අනුවයි.