Gossips

කැබිනට් ප්‍රකාශකට හදිසිය ගැන ප්‍රශ්නයක්

පරීක්ෂණ කොමිෂන් සභා මගින් අනාවරණ කරගනු ලබන කරුණු පදනම් කරගනිමින් නඩු පැවරීමේ බලය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැවරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිව තිබෙනවා.
එම හමුවේදී සාකච්ඡාවට ලක්වූ කරුණු පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
ඒ, කැබිනට් සංශෝධනය, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන ඒම ඇතුලූ තවත් කරුණු කිහිපයක් පිළිබඳවයි.
මෙහිදී අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා මාධ්‍යයට අමුතු හදිසියක් පැන නැගී ඇත්තේ ඇයිද යන්න රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රශ්න කළා.
එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පැහැදිළි නොවන බවයි.
මෙහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන බව පැවසෙන විශ්වාසභංගය පිළිබඳවද ප්‍රශ්න කෙරුණු අතර, ඊට පිළිතුරු ලබාදෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මෙතෙක් සාකච්ඡාවක් සිදුව නොමැති බවයි.