Gossips

කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 30 දක්වා ඉහළට

කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙකු සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම්දීම සිදුවූ අතර, එහිදී කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර දිවුරුම් දී තිබෙනවා.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ උපනායක වී. රාධක්‍රිෂ්නන් විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.
එමෙන්ම, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් දිවුරුම් දුන්නේ වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
එසේම කැබිනට් අමාත්‍ය දයා ගමගේ දැරූ කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරයේ සංශෝධනයක් ද සිදුව තිබෙනවා.
ඒ අනුව ඔහුගෙන් කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා කොටස ඉවත් කර ඇති අතර, සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය පමණක් ඔහුට හිමි වුණා.
අද සිදුවූ මෙම නව දිවුරුම් දීම් සමඟ ආණ්ඩුවේ මුළු කැබිනට් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ යනවා.
නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 8ක් වන අතර, රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙකු පත් කර අවසන්. කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව ජනාධිපතිවරයා සතු අමාත්‍ය ධූරත් සමඟ 30ක්. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට සීමා වන අතර, කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 40කට සීමා විය යුතුයි.
මේ අතර, අද කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවීන්ද්‍ර සමරවීර අද පස්වරුවේ සිය අමාත්‍යාංශයට ගොස් ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.