Gossips

කැබිනට් අමාත්‍ය ධුර 03ක්, රාජ්‍ය අමාත්‍ය ධුර 17ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 07ක් මැති ඇමතිවරුන් අතර බෙදී ගියේ මෙහෙමයි

කැබිනට් නොවන අමාත්‍යවරුන් 3 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙක් ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ, ජනාධිපති කාර්යාලයේදියි.
මේ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා – පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත්, අජිත් පී. පෙරේරා – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සුජීව සේනසිංහයි.
මේ අතර, රන්ජන් රාමනායක මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේත්, විජයකලා මහේෂ්වරන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේත්, ජේ.සී. අලවතුවල අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේත් දිවුරුම් දුන්නා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය ඉරාන් වික්‍රමරත්නට හිමි වූ අතර සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය රංජිත් අලුවිහාරේට හිමි වූ අතර වසන්ත අලුවිහාරේ කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ලකී ජයවර්ධනයි.
එහිදී නිරෝෂන් පෙරේරා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
චම්පිකා ප්‍රේමදාස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර අශෝක් අබේසිංහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේත් දිවුරුම් දුන්නා.
එච්.එම්.එම්. හාරිස් පළාත් සභා සහ පාලත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී ඇති අතර අමීර් අලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.
දිලිප් වෙදආරච්චි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඉසෙඩ් එම්. සෙයිඩ් සමාජ සවි බල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වඩිවෙල් සුරේෂ් වැවිළි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මෙහිදී කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයට රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර තිබීම විශේෂත්වයක්.
ඊයේ දිනයේදී නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙකු දිවුරුම් දුන් අතර එහිදී අනෝමා ගමගේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එඩ්වඩ් ගුණසේකර ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.
එහිදී නලින් බණ්ඩාර සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අජිත් මාන්නප්පෙරුම පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් අතර කරුණාරත්න පරණවිතාන දිවුරුම් දුන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පාලිත තෙවරප්පෙරුම සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නා.
කෙසේ වෙතත්, ඊයේ දිවුරුම් දුන් මෙම කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනා, රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනා අතර ආණ්ඩුවට සහය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් නොමැතිවීම ද විශේෂත්වයක්.