Gossips

කැණීම්වලට නව නීති

විවිධ සංවර්ධන කටයුතු හෝ ඛනිජ නිස්සාරණ කටයුතු සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.
ඊට අදාළ නියෝගය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කර ඇත්තේ සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරුන් හරහා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලැබෙන පරිද්දෙන්.
පුරාවිද්‍යා උරුමයට හානි කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල වාර්තා වූ සිද්ධීන් පිළිබදව අවධානය යොමු කර, තමන් මෙම නියෝගය නිකුත් කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.
මේ අතර, නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නව ගම්මානයක් ඉදිකරන බව පවසමින් අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පූගොල්ලාගම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක් බර යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් හානි කර තිබුණා.
ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ චෝදනා එල්ල කිරීමත් සමඟ එහි වගකීම නිවාස සංවර්ධන අධිකාරිය විසින් භාර ගනු ලැබූ අතර අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරිණියගේ සහ තවත් නිලධාරියෙකුගේ වැඩ තහනම් කෙරුණා.