Gossips

කැකිරාවේ අලි මෙහෙයුම (ඡායරූප)

කැකිරාව කොරසගල්ල ගම්මානයට කොටුවී සිටි වල් අලි රංචුවක් නිසා එහි ජනතාව අතර ඊයේ (03) නොසන්සුන්තාවයක් හට ගෙන තිබෙනවා.
කලාවැව ජාතික උද්‍යානයේ සිට එහි ආරක්ෂීත විදුලි වැට බිඳ දමමින් ඊයේ 03 අලූයම ආහාර සොයා ගම්වැදීමෙන් පසුව එම අලි රංචුව මෙලෙස කොරසගල්ල ගම්මානයට කොටුවී ඇති බව ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීයකු ප්‍රකාශ කළා.
ඊයේ (03) දහවල් එහි පැමිණි ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම වල් අලි රංචුව පලවා හැරීමේ මෙහෙයුම ආරම්භ කළා.
ගම්වැදී සිටි වල් අලි රංචුව අට දෙනෙකුගෙන් යුක්තවූ අතර එම අලි රංචුව ගම්මානයේ ගෙමිදුල් ගෙවතු හා වගාබිම් ආශ්‍රිතව කලබලකාරී ලෙස හැසිරුණු බවයි වාර්තාවන්නේ.
මෙහෙයුම ආරම්භයේදීම එය නිමවන තෙක් කාන්තාවන්, දරුවන්, වයෝවෘධ හා ආබාධිත පිරිස් ආරක්ෂිතව නිවෙස් තුල රැදවීමට පොලිසිය හා වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබුණා.
පසුව අලි පැන්නීමේ මෙහෙයුම ආරම්භ වූ අතර පැය කිහිපයක් පුරා පැවැති එම මෙහෙයුම සදහා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සහය ලැබී තිබෙනවා.
මෙම මෙහෙයුමේදී ගෙවතු වගාවන් රැසකට හානි සිදු වූ බවයි සඳහන් වන්නේ.
මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම මෙහෙයුම අතරතුරදී පැය කිහිපයක් ඒ9 මාර්ගයේ රථවාහන ගමනාගමනය ද වරින්වර අත්හිටුවීමට පොලිස් රථවාහන අංශය කටයුතු කර තිබුණා.
පසුව ගම්මානයට කොටුවී සිටි වල් අලි රංචුව කොරසගල්ල ප්‍රදේශයේ ඇති මස්තාන් බෝක්කුව අසළින් ඒ 9 ප්‍රධාන මාර්ගය හරහා කලාවැව ජාතික උද්‍යානයට පන්නා දැමීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.



(ඡායරූප) – කැකිරාව – කුෂාන් ජයවර්ධන