Gossips

කාශ්මීරයට ඇඳිරි නීතිය

ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පුරා වෙසෙන කාශ්මීර වැසියන්ට විවිධ තර්ජන එල්ලවන බව වාර්තාවනවා.
විශේෂයෙන් පට්නා නුවර වෙසෙන කාශ්මීරයෙන් පැමිණි වෙළඳුන් ප්‍රහාරයට ලක්වී ඇති අතර, දෙහෙරාදුන් හි සිටින කාශ්මීර සරසවි සිසුන්ට සිය නවාතැන්වලින් නික්මීමට සිදුව ඇති බව සඳහන්.
මෙවැනි සිද්ධීන් වාර්තාවීමත් සමඟ කාශ්මීර වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලූම ප්‍රාන්ත වෙත දැනුම්දී තිබෙනවා.
එමෙන්ම ප්‍රහාරයෙන් පසු කාශ්මීර වැසියන් ප්‍රහාරවලට ලක්වීමේ සිද්ධිවලට එරෙහිව කාශ්මීරයේ හර්තාලයක් ආරම්භවී ඇති අතර, එහි ඇඳිරිනීතිය පනවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
මේ අතර, ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව, පාකිස්තානය සමඟ තරඟ නොවැදිය යුතු බව ඉන්දීය ක්‍රිකට් සමාජය පවසනවා.
එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජයට සමානව මුම්බායි හි පිහිටුවා ඇති එම ක්‍රීඩා සමාජය ඉන්දියාවේ වඩාත් කීර්තිමත් ක්‍රිකට් සමාජයක් ලෙසයි සැලකෙන්නේ.
එමගින් චෝදනා කළේ පාකිස්තානය කේන්ද්‍ර කොටගත් ත්‍රස්ත කණ්ඩායම ඍජුව හෙලා දැකීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කටයුතු නොකළ බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් මුම්බායි හි සිය ක්‍රීඩා සමාජයේ ඇති ඉම්රාන් ඛාන්ගේ ඡායාරූපය ආවරණය කිරීමට ද ඉන්දීය ක්‍රිකට් සමාජය පියවර ගෙන තිබෙනවා.