Gossips

කාලගුණ විපත්වලින් එක්ලක්ෂ 15,000 කට තවදුරටත් පීඩා – යාන් ඔය ජලාශයේ වාන් දොරටු අද උදෑසන විවෘත වේ – ඩෙංගු උවදුරත් හිස ඔසවන ලකුණු

දැනට පවතින වැසි තත්ත්වය තාවකාලිකව අඩුවීමක් අද සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.
එමෙන්ම, යාන් ඔය ජලාශයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට නියමිතයි.
දැනට හුරුළු වැව ජලාශය වාන් දමමින් පවතින අතර, ඒ හේතුවෙන් යාන් ඔය ජලාශයේ ජල මට්ටම මීටර් 36 දක්වා උපරිමයකට ළඟා වී තිබෙනවා.
එබැවින් අද උදෑසන වාන් දොරටු විවෘත කරන නිසා පහල ජල වාරි කලාපයේ ජනතාව අවධානයෙන් සිටින ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
මේ අතර, පොල්පිතිගම හක්වටුනා ජලාශයේ වාන් දොරටු 3 විවෘත කර ඇති අවස්ථාවේ බීමත් පුද්ගලයින් පිරිසක් ජල පහර හරහා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර ජල පහරට කොටු වී සිටි ඔවුන් පැයක පමණ කාලයකින් පසු දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට පිහිනා එන ආකාරය දක්නට ලැබුණේ මෙලෙසින්.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ 15,902 දෙනෙකු තවමත් පීඩාවට පත්ව සිටිනවා.
විපතට පත් උතුරේ ජනතාවට සහන සැලසීම සඳහා ජාති ආගම් භේදයකින් තොරව සියළු දෙනා ඉදිරිපත් විය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් පවසනවා.
ශ්‍රී දළඳා මාලිගාව, අස්ගිරිය මහා විහාරය ඇතුළු පරිත්‍යාගශීලින් විසින් ලබාදුන් ආධාර උතුරේ ජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාවට භාරදුන් අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
අධික වර්ෂාව හේතුවෙන් උතුර පළාතට බලපෑ ගංවතුර තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, විපතට පත්වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් උතුර පළාතේ දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඊයේ පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එමෙන්ම, දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ හේතුවෙන් ඉදිරි ජනවාරි සහ පෙබරවාරි යන මාසවල ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සියළු දෙනා එක්විය යුතු බවටයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ලබන වසර සඳහා නව පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම දිවයිනේ සියළු පාසල් පිරිසිදු කර මදුරුවන් බෝ නොවන ස්ථාන ලෙස තහවුරු කර ගැනීම වැදගත් වනවා.
පසුගිය දෙසැම්බර් මස දින දෙකක් ඩෙංගු මර්දන වැඩසටහනක් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ අතර, අවම වශයෙන් සතියකට වරක් විනාඩි 30 ක් තම අවට පරිසරය පිරිසිදු කරගත යුතු බවටයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.