Gossips

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ලබන 16 වනදා දක්වා පමණ මෙම තත්වය බලාපොරොත්තු වන බවයි ඔවුන් නිවේදනය කළේ.
විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු සහ පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇතිවීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද ඔවුන් දැනුම්දෙනවා.
ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙන්නේ.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් ද වැලකිය යුතුයි.
එමෙන්ම අකුණු සහ ගිගුරුම් සහිත අවස්ථාවල බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැලකිය යුතු වනවා.
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.
හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.