Gossips

කාලගුණයෙන් ධීවරයන්ට උපදෙසක්

හෙට සවස් කාලය වන තෙක් පානදුර සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ක් 2.5 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
කෙසේවෙතත් මෙය ගොඩබිමට පැමිණෙන උස් රළ නොවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙම රළ තත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වනවා.
මේ අතර දිවයිනට බස්නාහිර සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් පමණ ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමට වැඩි හැකියාවක් පවතිනවා.
මෙම ක්‍රියාකාරී වළාකුලු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුලදී ද පවතින ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට ධීවර සහ නාවුක ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව ආසන්නයේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති.
විශේෂයෙන් උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙම වැසි තතත්වය පැවතිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
බස්නාහිර, දකුණ සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.