Gossips

කාලගුණයෙන් ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක්

කාලගුණයෙන් ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක් "
තද සුළං ගැන අනතුරු ඇඟවීමක්
දිවයින හරහා පවතින තද සුළං තත්ත්වය ලබන 20 වනදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 ක පමණ දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි.
මේ අතර මාතර – නිල්වැල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් හයදෙනෙකු සමඟ යාත්‍රාවක් මාලදිවයින් මුහුදු සීමාව ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් පාවෙමින් තිබෙන බව එහි හිමිකරු ප්‍රකාශ කළා.
අධික සුළං තත්ත්වය හේතුවෙන් මෙම යාත්‍රාව මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බවයි ඔහු කියා සිටියේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිය හැකි බවද ඔවුන් දැනුම් දෙනවා.
එසේම ඉහළ කොත්මලේ, මාවුස්සාකැලේ, ලක්ෂපාන, නෝටන්බ්‍රිජ් කැනියොන්, පොල්ගොල්ල යන ජලාශවල තවදුරටත් වාන් දොරටු විවෘතව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
වසර 5 කට පසු පිටාර මට්ටමට පැමිණි මාවුස්සාකැලේ ජලාශයේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.
වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටීමෙන් බාධා එල්ලවූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනය සඳහා අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා.
මීට අමතරව ඇතිවූ තද සුළංවලින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිවාස 300 කට පමණ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.
අයහපත් කාලගුණයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 17,000කට පමණ විදුලි සැපයුම විසන්ධි වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියා.
ඒ අනුව හැටන්, දික්ඔය, පට්ටිපොළ, මස්කෙලිය සහ ගිනිගත්හේන යන ප්‍රදේශවල මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති අතර එය යථාතත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මුහුද රළුවීම නිසා යාත්‍රාවලින් ගමන් කිරීමට නොහැකිවීම හේතුවෙන් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන ගොස් තිබෙනවා.
ඊයේ සහ අද අලුයම ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් මෙලෙස ප්‍රශ්න පත්‍ර රැගෙන ගොස් අධ්‍යාපන බලධාරීන් වෙත භාරදීමට පියවර ගත් බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.
කෙසේ වෙතත් පවතින දැඩි සුළං හමුවේ ධීවර හා නාවික කටයුතුවල නිරත පුද්ගලයින්ට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය වැඩිදුරටත් ඉල්ලා සිටියේ.