Gossips

කාබන් පරීක්ෂාවට සාම්පල් ගැනීම ඇරඹේ

මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ලබා ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එහි කැණීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ සඳහන් කළේ මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ් අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුවන බවයි.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ මේ දක්වා සිදුකරන ලද කැණීම්වලදී පුද්ගලයින් 280 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවී තිබෙනවා.
ඉන් අස්ථි 273 ක් මේ වනවිට ගොඩගෙන අවසන් කර ඇති අතර, ඒවා තැන්පත් කර ඇත්තේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියකයි.
සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලදී ළමයින්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් 21ක්ද හමුවී තිබෙනවා.
මෙම මිනිස් ඇටසැකිලි කාල නිර්ණ පරීක්ෂාව සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ රසායනාගාරය වෙත යැවීමට ද නියමිත අතර, ඒ සඳහා අස්ථි කොටස් ලබා ගැනීම අද දිනයේ ද සිදුකරන බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ සඳහන් කළේ.
කාබන් පරීක්ෂාව සඳහා අස්ථි කොටස් සාම්පල 6 ක් ලබා ගැනීමට නියමිත අතර මේ වනවිට ඉන් සාම්පල 2 ක් ලබාගෙන ඇති බව සඳහන්.
මේ අතර, අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද, ඊයේ මෙම සමූහ මිනීවල නිරීක්ෂණයට ලක්කර තිබෙනවා.