Gossips

ක්‍රීඩා ඇමතිට දැනුම් දීමක්

වසර දෙකහමාරකට ආසන්න කාලයක් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය යටතේ පැවති දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ පරිපාලන කටයුතු යළි දකුණු පළාත් ක්‍රිකට් සංගමයට ම පවරන්නට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කළා.
ඒ අනුව හෙට දිනයේදී ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ මෙහෙයුම් කටයුතු සදහා සිය දිස්ත්‍රික් සංගම් 3 වන ගාල්ල, මාතර සහ හම්බන්තොට නියෝජනය වන පරිදි එච්. හැලඹගේ මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව පුද්ගල කමිටුවක් පත් කරන්නට දකුණු පළාත් ක්‍රිකට් සංගමය පියවර ගත්තා.
ඒ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනු දැනුම මතයි.
කෙසේ නමුත්, මේ වනතුරුත් එම කමිටුවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ සිට සිය කටයුතු කරගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර නැහැ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය තුට්ටුවකටත් මායිම් නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එංගලන්තය සමග ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ මෙහෙයුම් කටයුතු තවදුරටත් සිය භාරයේම රඳවාගෙන තිබෙනවා.
මේ අතර, නීති විරෝධී ලෙස සේවය අත්හිටුවා තිබූ ගාල්ල ක්‍රීඩාංගණයේ සේවකයින් තිදෙනෙකු නැවත සේවයේ පිහිටුවන ලෙසද ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතාට නියෝග කළා.
නමුත් ඒ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් අනුගමනය කරන්නේ හිතුවක්කාරී පිළිවෙතක්.
මෙහිදී මතුවන ගැටලුව වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝග පවා නොසලකා හැරීමට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් බලගතු වන්නේ කෙසේද යන්නයි.
ක්‍රීඩා අමාත්‍ය තුමනි, මාධ්‍ය සංදර්ශන පවත්වනවා වෙනුවට කළ යුතු වන්නේ ඔබතුමන් විසින් නිකුත් කරන නියෝගවත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවාදැයි සොයාබැලීම නොවේද..?