Gossips

ක්‍රීඩා ඇමතිගෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකුට ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් ඉල්ලීමක් කරනවා.
කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම සහ අරවින්ද ද සිල්වාට තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කැපවීමට ඇරයුම් කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ක්‍රීඩා අමාත්‍යවරයා ඔවුන්ගෙන් මෙම ඉල්ලීම සිදු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුනු ඉල්ලීමකට අනුවයි.
අමාත්‍යවරයා කියාසිටියේ රට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මෙම සහය ලබාදෙන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම අද ලැබුනු අධිකරණ නියෝගයට අනුව තමන් සිතා සිටි ආකාරයට කඩිනමින් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මුත්තයියා මුරලිදරන්ට දග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙසට එක්වන ලෙස ඉල්ලා සිටින්නැයි තේරීම් කමිටුව තමාට දන්වා ඇතැයි ද ෆයිසර් මුස්තාෆා කියාසිටියා.
හිටපු ක්‍රීඩකයන් පිරිසට යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ තලයකට රැගෙන ඒමට හැකිවනු ඇති බවටයි ක්‍රීඩා අමාත්‍යවරයා විශ්වාසය පළකරන්නේ.
මේ අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරන හේමන්ත දේවප්‍රිය එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ අනුව අලූතින් නාම යෝජනා කැදවා ක්‍රිකට් නිලවරණය යලි පැවැත්වීමටයි අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර අවසර ලබා දුන්නේ.
ක්‍රීඩා පනතට අනුව කිී‍්‍රඩා අමාත්‍යවරයා, ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට නිලවරණය පැවැත්වීමට අදාල සැලැස්මක් සකස් කර ජූලි මස 04 වනදා ඉදිරිපත් කරන ලෙස ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සභාපතිත්වය දරණ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල කාලය පසුගිය මස 31 වනදා අවසන් වූ අතර , ඒ අනුව එදින පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය අද දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය මස 30 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, මෙවර නිලවරණයේදී සභාපති ධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින නිශාන්ත රණතුංග ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ක්‍රීඩා පනතට අනුව සහ ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව තිලංග සුමතිපාලට මෙවර නිලවරණය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොමැති බව සහ නිලවරණ කමිටුව පත්කිරීමේදී අවශ්‍ය කොන්දේසි සපුරා නොමැති බවට පවසමිනුයි නිශාන්ත රණතුංග මෙම පෙත්සම ගොනුකර තිබුණේ.