Gossips

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝග නොසලකා හරින පළාත් ක්‍රිකට් සංගමයක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේත්, අමාත්‍යංශ ලේකම්වරයාගේත් නියෝග දිගින් දිගටම නොසලකා හරිමින් සිටින බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය පිළිබඳවයි අදත් රෙඩ් කාඩ් අනාවරණය.
බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය, ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ නියෝග පවා නොසලකා හරිමින් දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ පරිපාලන කටයුතු කරගෙන යන බව අප රෙඩ් කාඩ් ඔස්සේ කිහිපවරක්ම අනාවරණ කළා.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම වත්මන් අමාත්‍යවරයා ද අවස්ථා දෙකකදී දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ පරිපාලනය සඳහා කමිටු පත් කළ නමුත් ඒ කිසිදු අවස්ථාවක ඔවුන්ට පරිපාලනය භාර දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ ද අනුග්‍රහය ලබමින් සිටි බස්නාහිර කළත් සංගමය ක්‍රියා කලේ නැහැ.
අප මේ පිලිබඳ දින කිහිපයකට පෙර කල අවසන් අනාවරණයත් සමග අමාත්‍යවරයාගේ අනුමැතිය මත පත් කෙරුණු සාමාජිකයන් 12 දෙනෙකු ගෙන් යුතු කමිටුවට දකුණු පළාත් ක්‍රිකට් පරිපාලනය භාරදෙන ලෙස අමාත්‍යංශ ලේකම් වරයා ඈෂ්ලි ද සිල්වා මහතා වෙත ඊයේ යලි නියෝග කළා.
කෙසේ වෙතත් අද දිනයේ පරිපාලන කටයුතු භාර ගැනීම සඳහා ගාල්ල ක්‍රීඩාංගනය වෙත පැමිණි නව නිලධාරීන්ට දක්නට ලැබුණේ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් අදාළ ගොඩනැගිල්ල අගුලු දමා ඇති ආකාරයයි.
මෙවර බස්නාහිර ක්‍රිකට් බලධාරීන් අත්තනෝමතික ලෙස ක්‍රියා කරන්නේ පරිපාලනය භාර දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක විසින් ඊයේ දුන් උපදෙස් පවා සැලකිල්ලට නොගනිමින්.
කනගාටුවට කරුණ වන්නේ මෙතෙක් දිනක් ප්‍රධාන විධායක නිලධාරීවරයා සිදුකළ පරිද්දෙන්ම බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ද සිය උපදෙස් තඹයකටවත් මායිම් නොකර හිතුමතේ හැසිරෙද්දී පවා අමාත්‍යවරයාට හෝ ලේකම්වරයාට ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීමට තරම් උවමනාවක් හෝ හැකියාවක් නොතිබීමයි.