හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා.
ඒ, ක්‍රිකට් සභාපති ධුරයට ඉදිරිපත් වී සිටින නිශාන්ත රණතුංග ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව ජුනි මස 14 වැනිදා දක්වා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.
ඔහු එම පෙත්සම ගොනුකර තිබුනේ තිලංග සුමතිපාල මෙවර නිලවරණයට තරග වැදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින්.
මෙම පෙත්සමෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සහ ක්‍රිකට් නිළවරණ කමිටුවේ නිලධාරීන් ඇතුළු 27 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
නිළවරණයට තරඟ වැදීම සඳහා තිලංග සුමතිපාල ඉදිරිපත් කළ අයදුම්පත ක්‍රීඩා පනතට පටහැනි බවටයි පෙත්සම මගින් කරුණු දක්වා ඇත්තේ.
මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා හිටපු සභාපති තිලංග සුමතිපාල, හිටපු සභාපතිවරයෙකු වන ජයන්ත ධර්මදාස, හිටපු සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙක් ද වන මොහාන් ද සිල්වා සහ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග ඉදිරිපත්ව සිටිනවා.