Gossips

ක්‍රිකට් නිලවරණය ගැන අයි.සී.සී. මතය ක්‍රීඩා ඇමති අභියාචනාධිකරණයට දන්වයි

විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හෝ ඊට ඉහල අධිකරණයක විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකු සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ස්වාධීන ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අද අභියාචනාධිකරණය හමුවේ කියා සිටියා.
ඒ ක්‍රීඩා පනතට අනුව සහ ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට මෙවර නිලවරණය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොමැති බව සහ නිලවරණ කමිටුව පත්කිරීමේදී අවශ්‍ය කොන්දේසි සපුරා නොමැති බව පවසමින් නිශාන්ත රණතුංග ගොනු කර තිබූ පෙත්සම කැදවූ අවස්ථාවේදීයි.
මෙම පෙත්සම අද සලකා බැලූණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර හමුවේයි.
අදාල පෙත්සම නොවැම්බර් මස 30 වනදා විභාගයට දින නියම කළ විනිසුරු මඩුල්ල ඔක්තොම්බර් මස 05 වනදාට පෙර විරෝධතා ගොනු කරන්නැයි වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළා.
එමෙන්ම ඔක්තොම්බර් මස 26 වනදාට පෙර ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසයි පෙත්සම්කාර පාර්ශවයට අභියාචනාධිකරණය දැනුම් දුන්නේ.
අද පෙරවරුවේ පෙත්සම කැදවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන කියා සිටියේ ක්‍රිකට් නිලවරණය කඩිනමින් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ජා කර නීති රෙගුලාසි සංශෝධන කිරීමට පියවර ගන්නා බවයි.